Friday, December 5, 2014

මහින්ද අබේසුන්දර, ඔබට(ත්) නිවන් සුව..(?)

මම පොඩිකාලේ ගෙදරට පත්තරේ ගෙනාවම වෙන මොනවා කියෙව්වේ නැතත් 'මහින්දගේ ආගිය කතා' ආසාවෙන් කියෙව්ව හැටි තාමත් මතකයි. ඒ ගෙන්දගම් පොළවේ පයගහල ඉන්න සාමාන්‍ය මනුස්සයෙක්ගේ හදගැස්ම මම ඒ තුළින් දැක්ක නිසා වෙන්න ඇති. සමහර විට එහි කැටිව තිබුන රසය, සිත්ගන්නා සුළු බව, හාස්‍යය නිසාත් වෙන්න ඇති. එත් පස්සේ කාලෙක අයි.ටී.එන් එකේ 'විමසුම' ලියනනේ මම ඒ ආදරයෙන් බැඳුන 'මහින්දගේ ආගිය කතා' ලියපු ඒ මනුස්සයාම බව දැනගත්තාම ඇත්තටම දැනුනේ ලොකු කණගාටුවක්.

විමසුම ලිව්ව මහින්ද හදිසියේම අංශභාගී තත්වයට පත්වෙලා කියල දැනගත්තේ අන්තර්ජාලයෙන්. මනුස්සයෙක්ට විපතක් වුනාම සතුටු වෙන එක අපේ මිනිස්සුන්ගේ ගතියක් නොවුනත් මේ ආරංචිය ඇහැව්වම තමාට දැනුන හැඟීම් ප්‍රසිද්ධියේ කියන්න මිනිස්සු පැකිලුනේ නැත්තේ මහින්ද විසින්ම සමාජය ඉදිරියේ තමාට ගොඬනගාගත්ත දුඟඳ හමන ප්‍රතිරූපය නිසයි. මාධ්‍ය සදාචාරය කියල දෙයක් තියෙනවා නම් ඒක බලු බල්ලට දැම්ම, තමා කඩේ යෑමට තෝරාගත් පිරිසගේ විරුද්ධවාදීන්ට සීමා රහිතව පදනම් විරහිතව මඩ ගහපු, අපහාස වලින් සංග්‍රහ කරපු තමාගේ පුද්ගලික ලාභ ප්‍රයෝජන තකා රටක් ගොනාට අන්දවපු මහින්දගේ විමසුමෙන් ලාංකීය මාධ්‍ය අවකාශය තුළ දිනයේ අප්‍රසන්නම මිනිත්තු කිහිපය නිර්මාණය වුන එක හැර වෙනත් සේවයක් වුනා කියල කියන්න බැහැ. ඒකෙ ප්‍රතිපලයක් විදිහටයි අපේ සමාජයේ මිනිස්සු මහින්ද ගැන අහපු ඒ ආරංචියට ඒ විදිහට ප්‍රතිචාරයක් දක්වන්න පෙළඹුනේ.

මහින්දගේ ගඳ සුවඳ ගැන සයිබර් අවකාශයේ ඕනෑ තරම් අදහස් පලවුන නිසා ඒ ගැන වැඩිදුර කතා කරනවට වඩා මහින්ද අබේසුන්දරගේ මරණින් පස්සේ පළවුන අදහස් ගැන යමක් සඳහන් කරන්න ඕනේ. සාමාන්‍යෙන් සමාජයේ කැපී පෙනුන මනුස්සයෙක්ගේ මරණින් පස්සේ ඔහු ගැන හොඳ හෝ නරක ගැන අදහස් ඉදිරිපත් වීම්, කතිකාවතක් ඇතිවීම් සිදුවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් මහින්දගේ මරණින් පස්සේ ඔහුගේ හොඳ ගැන කියවෙන අදහස් නම් ඉදිරිපත් වෙනවා කිසිවෙක් දැක්කේ නෑ. වුනේ ඔහුගේ නරක ගැන පළවුන අදහස් සහ ඔහුගේ නරක ගැන පලකල ඒ අදහස් විවේචනය කරමින් තවත් අදහස් ඉදිරිපත් වීමයි.

මහින්දගේ මරණින් පසු ඔහුව පෙර ලෙසම දැඩි ලෙස විවේචනය කරපු අයව විවේචනය කරන්නට තවත් පිරිසක් එකතු වුනේ කවුරු හෝ මියගියයින් පස්සේ ඔහුව විවේචනය කරන එක, පහර ගහන එක, අපහාස කරන එක සදාචාරවත් නැතිබව යුක්තිසහගත නැති බව කියමින්.

තමා ජීවත් වුන රටට සමාජයට බලපෑමක් කල කැපී පෙනන චරිත වලට ඔවුන් මියගියයින් පස්සේ ජීවත් වෙලා සිටි කාලයේ ඔවුන් කල ක්‍රියා ගැන ගුණවර්ණනා කරන්න, ගෞරව පට්ටම් නම්බුනාම දෙන්න, ප්‍රතිමා හදන්න පුලුවන් නම් ඒකෙම අනිත් පැත්ත කරන එකේ වැරැද්දක් නෑ කියලයි ඒ අයට කියන්න තියෙන්නේ. තමා ජීවත් වුන සමාජයට ධනාත්මකව බලපෑමක් කරපු මනුස්සයෙක්ට ඒ සමාජය විසින්ම ඔහුගේ මරණින් පස්සේ ධනාත්මක ප්‍රතිචාරයක් දෙන එක හොඳ නම්, ඒ විදිහටම තමා ජීවත් වුන සමාජයට සෘණාත්මකව බලපෑමක් කරපු කෙනෙක්ට ඒ සමාජය විසින්ම ඔහුගේ මරණින් පස්සේ සෘණාත්මක ප්‍රතිචාරයක් දෙන එක නරක වෙන්නේ කොහොමද? මහින්ද ගැන නරක හිතන, ඒත් මහින්ද මැරුන නිසාම ඒ නරක ගැන කතා නොකල යුතුයි කියල කියන අය මහින්ද කල ඒ නරක දේවල බලපෑම අදත් සමාජය අත්විඳින කොට ඒ ගැන කටවහගන්න ඕනේ කියල හිතන්නේ ඇයි?

සමහරු කියන දෙයක් තමා දැන් මහින්ද ජීවතුන් අතර නැති නිසා ඔහුට එරෙහිව එල්ලවෙන චෝදනා, අපහාස වලට උත්තර දෙන්න ඔහුට බැරි නිසා එහෙම චෝදනා, අපහාස කරන එක වැරදි බව. එහෙම බැලුවොත් ඔහු ජීවත් වෙලා හිටිය කාලෙදො වුනත් ඔහු නැති තැනක හරි ඔහුට ඇහෙන්නේ නැති තැනක හරි ඔහුව විවේචනය කරන එක වැරදි වෙන්න ඕන. මොකද ඒ එල්ල කරන හැම චෝදනාවකටම උත්තර දෙන්න මහින්දට හැකියාවක් නැති නිසා.

සමාජයක ජීවත් වෙද්දි සමාජයට බලපාන චරිත වුනාම තමා කරන කියන දේවලට අනුව සමාජයෙන් වර්ණනා, නම්බුනාම වගේම ගල්මුල් එන බවත් දැනගන්න ඕනේ. ඒකට තමා ජීවත් වීම නොවීම, තමා රටේ සිටීම රටෙන් පිටව සිටීම සාධකයක් විය යුතුයි කියල බලාපොරොත්තු වෙන්න බෑ.

එහෙම නැත්නම් අපිට තෙරේසා මව්තුමිය ගැන, මාර්ටීන් ලූතර් කින්ග් ගැන, නෙල්සන් මැන්ඩෙලා ගැන හොඳ කියන්න වගේම හිට්ලර් ගැන, පොල් පොට් ගැන, සදාම් හුසේන් ගැන නරක කියන්නත් අයිතියක් නැතිව යනවා. මොකද ඒ ඔක්කෝම දැන් ජීවතුන් අතර නැති නිසා.

අපි හැමෝටම නෙලන්න වෙන්නේ අපි වපුරන ඒවම තමා.

ඒ ඇත්තට මූණ දෙන්න බැයි නම් වපුරන්නේ නැතුව ඉන්න ඕනේ, නැත්නම් වපුරන ඒවා ගැන වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනේ.

කොහොම වුනත් අවසානයේ කියන්න තියෙන්නේ මෙච්චරයි.

මහින්ද, මරණින් පසුවත් ඔබ මේ නෙලන්නේ ඔබ වැපිරූ පලදාවමය.

එසේනම් ඔබට(ත්) නිවන් සුව..(?)

4 comments:

  1. //අපි හැමෝටම නෙලන්න වෙන්නේ අපි වපුරන ඒවම තමා.//

    අද වෙනකල් හිත කියන්න අකමැති වෙච්ච දෙයක් ඔබගේ ලිපිය කියෙව්වා පස්සේ කියන්න හිතුණා............

    //මහින්ද අබේසුන්දර, ඔබට(ත්) නිවන් සුව..(?)//

    බ්ලොගයට අාවේ අද............ දිගට ම ලියමු............. හරිම රසවත් විදිහට ලියනවා ඔබ.............. අගෙයි

    ReplyDelete
    Replies
    1. දිරි ගැන්වීමට ස්තූතියි යාලුවා

      Delete
  2. ලිවිල්ල පට්ටය. පින්තූරයක් එහෙම් එල්ලලා පොඩ්ඩක් හැඩ වැඩ කරලා ගන්න. පින්තූරයක් දැම්මම සින්ඩිවලදි වාසියක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතලන්. පින්තූරයක් දාන්නම් :)

      Delete