Wednesday, December 10, 2014

මර්වින් සිල්වා එනවා කියලා හුරේ දාන්න එපා !

ගත වෙච්ච කාලයේ මර්වින් සිල්වා කියන ලිහා දැම්ම පිස්සු බල්ලාගේ වැඩ නිසා පිළිකුලට පත් වෙලා හිටිය සමහර (පර්සි)-මහින්ද විරෝධීන් ඔහු පොදු විපක්ෂයට පනින්න යන්න හදන බව ආරංචි වුන ගමන් තක්බීර් වෙලා-කටවල් ගොළුවෙලා-තුෂ්ණිම්භූතව-ලැජ්ජාවෙන් වගේ ඇඹරෙමින් ඉන්න බව පේනව. පවතින දේශපාලන ක්‍රමය අස්සේ පිළ් මාරුවීම් වලින් පැහැදිලි බලපෑමක් වෙනබව පේන්නම තියෙද්දි මේවගේ දෙයක් යම් කෙනෙක්ට තෝරා බේරා ගන්න බැරි නම් ඒ කෙනා ප්‍රායෝගික ලාංකීය දේශපාලනය තුළ අසාර්ථක චරිතයක්.

මොකක් හරි ඉලක්කයක් ජයගන්න නම්, යම් බලපෑමක් ඇති කරන්න නම්, යම් ක්‍රමයක් උඩුයටිකුරු කරන්න නම් පවතින වාතාවරණය තේරුම් අරන් ඒ තුළ බලය අල්ලා ගැනීම සහ ස්ථාවර වීම අතිශය වැදගත්. එහෙම කරන්න යන ගමනේ අවශ්‍ය දේ කරන්නත්, අතේ මඩ ගාගන්නත් සූදානම් නැත්තන් වෙන්නේ පටන්ගත්ත තැනින්ම ගමන ඉවරකරන්නයි. කථාවට කියනවා වගේ කුකුල් බෙට්ටෙනුත් ප්‍රයෝජනයක් තියෙනවා නම් අවශ්‍ය දේ කරන්න ඒකෙන් ප්‍රයෝජනය ගන්න ඕන. ක්‍රමය වෙනස් කරන්න කලින් ක්‍රමය තුළ ස්ථාවර විය යුතුයි. මර්වින් සිල්වා වගේ පිස්සු බල්ලෙක් බැලන්ස් කරන්නවත් බැයි නම් මෛත්‍රී පාලනයට ඔය කරනවා කියල කියන දේවල් කරනවා තියා හිතන්නවත් හම්බෙන්නේ නෑ. ඇතිකරන්න යන වෙනස උදෙසා යන ගමනේ උස මිටි කම්, කළු සුදු කම් බලනවට වඩා වැදගත් මොකක්ද කියන එක තේරුම් ගන්න එක ඉතාම වැදගත්.

ගෘහ මූලිකයා බුද්ධිමත් නම් පිස්සුබල්ලෙක් බඳිනවා කියන්නේ ලේසියෙන් විසඳන්න පුලුවන් ප්‍රශ්නයක්. දම්වැල් කඩාගත්ත පිස්සුබල්ලන්ට බයවෙලා 'ලොකු පින්තූරය' මඟහරවගන්නේ නැතුව අවසාන ඉලක්කය ලඟා කරගන්න කරන්න ඕන දේ කොන්ද පණ ඇතුව කරන්නත්, ඒ කරන්න වෙන දේවල් ප්‍රායෝගිකව දරා ගන්න හැකියාවත් නැත්නම් බලය අල්ලගත්තත් ඒකෙන් පස්සේ ඔය කරනවයි කියන ඒවා කරන්න නම් පුලුවන් වෙන්නේ නෑ.

පවතින දේශපාලන ක්‍රමය වෙනස් කරන්න නම් දැනට සිටින මර්වින් වගේ දේශපාලන චරිත එක්කත් ගනුදෙනු කරන්න සිද්දවෙනවා කියන ඇත්තට මූණ දෙන්න බැයි නම් ඒ අයට ලංකාවේ දේශපාලනය තුල ස්ථාවර වෙන්න ලැබෙන්නේ නෑ. ඒ සඳහා මර්වින්වගේ එකෙක්ගෙන් හරි වාසියක් වෙනවා නම් ඒ වාසිය ගන්න එක වැදගත්. ගන්න තියෙන වාසි අරන් ජයග්‍රහණයෙන් පස්සේ අවශ්‍ය දේ කරන එක හොඳයි, සුදු කලු තෝර තෝර ඉන්න ගිහින් පැරදිලා ඔක්කෝම හීන උපන්ගෙයි මියැදෙන්න අරිනවට වඩා. මර්වින් විතරක් නෙමේ, ඒවගේම තවත් අය එක්ක කටයුතු කරන්න පුලුවන් ඇති කරන්න බලාපොරොත්තු වෙන වෙනස තුල. නව පාලන ක්‍රමයක් තුළ අල්ලස් හා දූෂණ පිළිබඳ නීති හරිහැටි ක්‍රියාත්මක කිරීම වගේ දෙයකින්ම මර්වින් වගේ ලේසි ප්‍රශ්න විසඳගන්න පුලුවන්, එහෙමත් නැත්නම් දීර්ඝ කාලීනව කොටු කරන්න පුළුවන්.

මර්වින් සිල්වා එකතු වෙන්න කැමති නම් ඔහුව සම්බන්ධ කරගන්න එකේ වාසි අවාසි හරබැර කරලා ඒ තීරණය බුද්ධිමත්ව ගන්න ඕන. මොනව උනත් මර්වින් කියන්නේ ලංකාවේ බුද්ධිමත්(?) ඡන්දදායකින්ගේ ඡන්දයෙන් පත් වෙච්ච එකෙක්නෙ. මර්වින් සම්බන්ධ කරගන්න එකෙන් වාසියක් වෙනවා නම්, මර්වින් ගැන තිබ්බ තරහවත්, මර්වින්ගේ පිස්සු බලු හැසිරීමවත් ඒ වාසිය ලබා ගැනීමට බාධාවක් නොකරගත යුතුයි.

මර්වින් පොදු විපක්ෂය එක්ක එකතු වෙනව නම් සංකේතාත්මක වශයෙන් ඔහුව ප්‍රතික්ෂේප කරන්න මෛත්‍රී ඇතුළු පිරිසට පුලුවන් නම් එය ලාංකික දේශපාලන ක්‍රමය තුළ අතිවිශාල ධනාත්මක සංසිද්ධියක් ඉතිහාසගත කෙරෙන බව ඇත්ත. නමුත් වර්තමාන ලාංකේය දේශපාලන ක්‍රමය තුළ එවන් දවල් හීන දැකීමට තරම් මම වගේ කෙනෙක්ගේ සිත බොළඳ නැති බව කියන්න ඕනේ. (සමහර දවල් හීන සැබෑ නොවෙනවාත් නොවේ)

ප.ලි- මර්වින් සිල්වා පොදු විපක්ෂය සමඟ සැබෑවටම සම්බන්ධ වේද නැද්ද යන එක වෙනම කථාවකි. අදාල කටකතාව අරභයා හටගත් කතිකාවත සම්බන්ධයෙන් කෙටි අදහසක් ඉදිරිපත් කිරීම මෙම සටහනේ අරමුණ කොට ගතිමි.

Friday, December 5, 2014

මහින්ද අබේසුන්දර, ඔබට(ත්) නිවන් සුව..(?)

මම පොඩිකාලේ ගෙදරට පත්තරේ ගෙනාවම වෙන මොනවා කියෙව්වේ නැතත් 'මහින්දගේ ආගිය කතා' ආසාවෙන් කියෙව්ව හැටි තාමත් මතකයි. ඒ ගෙන්දගම් පොළවේ පයගහල ඉන්න සාමාන්‍ය මනුස්සයෙක්ගේ හදගැස්ම මම ඒ තුළින් දැක්ක නිසා වෙන්න ඇති. සමහර විට එහි කැටිව තිබුන රසය, සිත්ගන්නා සුළු බව, හාස්‍යය නිසාත් වෙන්න ඇති. එත් පස්සේ කාලෙක අයි.ටී.එන් එකේ 'විමසුම' ලියනනේ මම ඒ ආදරයෙන් බැඳුන 'මහින්දගේ ආගිය කතා' ලියපු ඒ මනුස්සයාම බව දැනගත්තාම ඇත්තටම දැනුනේ ලොකු කණගාටුවක්.

විමසුම ලිව්ව මහින්ද හදිසියේම අංශභාගී තත්වයට පත්වෙලා කියල දැනගත්තේ අන්තර්ජාලයෙන්. මනුස්සයෙක්ට විපතක් වුනාම සතුටු වෙන එක අපේ මිනිස්සුන්ගේ ගතියක් නොවුනත් මේ ආරංචිය ඇහැව්වම තමාට දැනුන හැඟීම් ප්‍රසිද්ධියේ කියන්න මිනිස්සු පැකිලුනේ නැත්තේ මහින්ද විසින්ම සමාජය ඉදිරියේ තමාට ගොඬනගාගත්ත දුඟඳ හමන ප්‍රතිරූපය නිසයි. මාධ්‍ය සදාචාරය කියල දෙයක් තියෙනවා නම් ඒක බලු බල්ලට දැම්ම, තමා කඩේ යෑමට තෝරාගත් පිරිසගේ විරුද්ධවාදීන්ට සීමා රහිතව පදනම් විරහිතව මඩ ගහපු, අපහාස වලින් සංග්‍රහ කරපු තමාගේ පුද්ගලික ලාභ ප්‍රයෝජන තකා රටක් ගොනාට අන්දවපු මහින්දගේ විමසුමෙන් ලාංකීය මාධ්‍ය අවකාශය තුළ දිනයේ අප්‍රසන්නම මිනිත්තු කිහිපය නිර්මාණය වුන එක හැර වෙනත් සේවයක් වුනා කියල කියන්න බැහැ. ඒකෙ ප්‍රතිපලයක් විදිහටයි අපේ සමාජයේ මිනිස්සු මහින්ද ගැන අහපු ඒ ආරංචියට ඒ විදිහට ප්‍රතිචාරයක් දක්වන්න පෙළඹුනේ.

මහින්දගේ ගඳ සුවඳ ගැන සයිබර් අවකාශයේ ඕනෑ තරම් අදහස් පලවුන නිසා ඒ ගැන වැඩිදුර කතා කරනවට වඩා මහින්ද අබේසුන්දරගේ මරණින් පස්සේ පළවුන අදහස් ගැන යමක් සඳහන් කරන්න ඕනේ. සාමාන්‍යෙන් සමාජයේ කැපී පෙනුන මනුස්සයෙක්ගේ මරණින් පස්සේ ඔහු ගැන හොඳ හෝ නරක ගැන අදහස් ඉදිරිපත් වීම්, කතිකාවතක් ඇතිවීම් සිදුවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් මහින්දගේ මරණින් පස්සේ ඔහුගේ හොඳ ගැන කියවෙන අදහස් නම් ඉදිරිපත් වෙනවා කිසිවෙක් දැක්කේ නෑ. වුනේ ඔහුගේ නරක ගැන පළවුන අදහස් සහ ඔහුගේ නරක ගැන පලකල ඒ අදහස් විවේචනය කරමින් තවත් අදහස් ඉදිරිපත් වීමයි.

මහින්දගේ මරණින් පසු ඔහුව පෙර ලෙසම දැඩි ලෙස විවේචනය කරපු අයව විවේචනය කරන්නට තවත් පිරිසක් එකතු වුනේ කවුරු හෝ මියගියයින් පස්සේ ඔහුව විවේචනය කරන එක, පහර ගහන එක, අපහාස කරන එක සදාචාරවත් නැතිබව යුක්තිසහගත නැති බව කියමින්.

තමා ජීවත් වුන රටට සමාජයට බලපෑමක් කල කැපී පෙනන චරිත වලට ඔවුන් මියගියයින් පස්සේ ජීවත් වෙලා සිටි කාලයේ ඔවුන් කල ක්‍රියා ගැන ගුණවර්ණනා කරන්න, ගෞරව පට්ටම් නම්බුනාම දෙන්න, ප්‍රතිමා හදන්න පුලුවන් නම් ඒකෙම අනිත් පැත්ත කරන එකේ වැරැද්දක් නෑ කියලයි ඒ අයට කියන්න තියෙන්නේ. තමා ජීවත් වුන සමාජයට ධනාත්මකව බලපෑමක් කරපු මනුස්සයෙක්ට ඒ සමාජය විසින්ම ඔහුගේ මරණින් පස්සේ ධනාත්මක ප්‍රතිචාරයක් දෙන එක හොඳ නම්, ඒ විදිහටම තමා ජීවත් වුන සමාජයට සෘණාත්මකව බලපෑමක් කරපු කෙනෙක්ට ඒ සමාජය විසින්ම ඔහුගේ මරණින් පස්සේ සෘණාත්මක ප්‍රතිචාරයක් දෙන එක නරක වෙන්නේ කොහොමද? මහින්ද ගැන නරක හිතන, ඒත් මහින්ද මැරුන නිසාම ඒ නරක ගැන කතා නොකල යුතුයි කියල කියන අය මහින්ද කල ඒ නරක දේවල බලපෑම අදත් සමාජය අත්විඳින කොට ඒ ගැන කටවහගන්න ඕනේ කියල හිතන්නේ ඇයි?

සමහරු කියන දෙයක් තමා දැන් මහින්ද ජීවතුන් අතර නැති නිසා ඔහුට එරෙහිව එල්ලවෙන චෝදනා, අපහාස වලට උත්තර දෙන්න ඔහුට බැරි නිසා එහෙම චෝදනා, අපහාස කරන එක වැරදි බව. එහෙම බැලුවොත් ඔහු ජීවත් වෙලා හිටිය කාලෙදො වුනත් ඔහු නැති තැනක හරි ඔහුට ඇහෙන්නේ නැති තැනක හරි ඔහුව විවේචනය කරන එක වැරදි වෙන්න ඕන. මොකද ඒ එල්ල කරන හැම චෝදනාවකටම උත්තර දෙන්න මහින්දට හැකියාවක් නැති නිසා.

සමාජයක ජීවත් වෙද්දි සමාජයට බලපාන චරිත වුනාම තමා කරන කියන දේවලට අනුව සමාජයෙන් වර්ණනා, නම්බුනාම වගේම ගල්මුල් එන බවත් දැනගන්න ඕනේ. ඒකට තමා ජීවත් වීම නොවීම, තමා රටේ සිටීම රටෙන් පිටව සිටීම සාධකයක් විය යුතුයි කියල බලාපොරොත්තු වෙන්න බෑ.

එහෙම නැත්නම් අපිට තෙරේසා මව්තුමිය ගැන, මාර්ටීන් ලූතර් කින්ග් ගැන, නෙල්සන් මැන්ඩෙලා ගැන හොඳ කියන්න වගේම හිට්ලර් ගැන, පොල් පොට් ගැන, සදාම් හුසේන් ගැන නරක කියන්නත් අයිතියක් නැතිව යනවා. මොකද ඒ ඔක්කෝම දැන් ජීවතුන් අතර නැති නිසා.

අපි හැමෝටම නෙලන්න වෙන්නේ අපි වපුරන ඒවම තමා.

ඒ ඇත්තට මූණ දෙන්න බැයි නම් වපුරන්නේ නැතුව ඉන්න ඕනේ, නැත්නම් වපුරන ඒවා ගැන වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනේ.

කොහොම වුනත් අවසානයේ කියන්න තියෙන්නේ මෙච්චරයි.

මහින්ද, මරණින් පසුවත් ඔබ මේ නෙලන්නේ ඔබ වැපිරූ පලදාවමය.

එසේනම් ඔබට(ත්) නිවන් සුව..(?)